නිදි වැදුන සමාජයක සංස්කෘතික අවදිය...


                                                         
සංස්කෘතිය නිරන්තර යාවත්කාලීන වන හා නිරන්තර වෙනස්කම්වලට භාජනය වන්නක් යැයි කිවහොත් එය සත්‍යක්‍ ය.මෙරට සංස්කෘතිය පිලිබද ඉතා ඉහල මානයකින් හා ඉතා ඉහල වටිනාකමකින් සාකච්චාවට බදුන්වන අවස්ථා එමටය.සංස්කෘතිය හානි වෙන අවස්ථා පිලිබද මහජනයා නිරන්තර අවදියෙන් පසු වන අතර එම අවදානය මෙරට සිදුවන අන් සියලු සංසිද්දීන්ට ශාපේක්ෂව ඉහලය.මෙරට පොදු මහජනයාගේ දේශපලන ශාක්ෂරතාව හා මාධ්‍ය ශාක්ෂරතාවය ඉතා පහල අගයක් ගන්නා අතර මාධ්‍ය වලට හා දේශපාලකයන්ට මෙරට පොදු සාමාන්‍ය ජනයා රැවටිය හැකි ප්‍රතිෂතය ඉතා ඉහලය.සංස්කෘතිය රැකීම යනු පාරම්පරිකව හා ජානමය ලෙස පරපුරෙන් පරපුර පවත්වාගෙන එන සංකල්පයක් වන අතර දේශපාලනයට හා ජනමාධ්‍ය රැවටීම් වලට හසු නොවී ඒවා විචාරාත්මකව විචාරය කරලීමේ හැකියාව එම පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන පුරුද්දක් නොවන්නේ සංස්කෘතිය රැකීමේ අධ්‍යාපනය කුඩා දරුවාගේ සිට දෙමවුපියන්ද  මූලික කර ගන්නා නිසාය.සංස්කෘතියට මුවාවී මේ මොහොත වන විටත් දේශපාලන කණ්ඩායම්,ආගමික නායකයන් තම බලය හා පැවැත්ම ස්තාවර කර ගැනීමට හා රැක ගැනීමට වෙහෙසෙන අතර හුදු මහජනයාද එයට නිරන්තර පිටු බලයක් ලබා දේ.

සංස්කෘතික කඩතුරාව දැඩි ලෙස ආරෝපනය කර සිටිනා ජනකාය ග්‍රාමීය ජනකාය වන අතර සංස්කෘතික හා ජාත්‍යාලයෙන් ඔද වැඩී සිටින ජනයා අතර බහුතරයද ග්‍රාමීය ජනකාය වීම කැපී පෙනෙයි.නාගරික ව්‍යාපාරික පංතිය සදහා සංස්කෘතිය හා ජාත්‍යාලය එතරම් වැදගත් නොවන අතර ඒවා ප්‍රමුක වුවහොත් තම ගමන අඩාල වන බව එම පංතිය තේරුම් ගත්තා විය යුතුය.නිර්ධන පාන්තික හා දිනක වැටුපට කෙනෙකු ලග රැකියාවේ නිරතවන්නන් දැඩි ලෙස සංස්කෘතියට හා සභ්‍යත්වයට ආදරය කරන අතර තම දිවි දෙවනිකොට එය රැකීමට යයි.ධනපතියා හා උගත් මධ්‍යම පාන්තිකයා සංස්කෘතිය සාකච්චාවට ගෙනෙනුයේ තම පැවැත්ම හා තනතුර ස්තාවර කර ගැනීමට වන අතර ඉන් එහාට ඔවුන් තුල සංස්කෘතිය හා සභ්‍යත්වය පිලිබද ඇත්තේ ඇල්මැරුනු ප්‍රතිපත්තියක්‍ ය.

මා දන්නා ධනවත් ව්‍යාපාරිකයෙකු ග්‍රාමීයව වාසය කල අතර ඔහු හා ඔහුගේ පවුල දැඩි සංස්කෘතික පුද්ගලයන් වූහ.ග්‍රාමිය දිලිදු ජනයා එම පවුල හා නිරන්තර ගනුදෙනු කල අතර යම් යම් ග්‍රාමීය පවුල් වල ජනයා එම පවුල ලෙස ජීවත් වීමට හා ඔවුන් ගේ ජීවන විලාසිතාවන්ට අනුගත් වීමටද උත්සහා දැරූහ.දැඩි ආගමික හා ජාත්‍යාලය ඔවුන්ගේ සමස්ථ පවුල තුලින්ම නිරූපනය වූ සාධකයක් වූ අතර ගම්මුන් එයට දැඩි ලෙස ගෞරව කරන්නට හා ආදරය කරන්නට පටන් ගත්හ.යම් දේශපාලන මැදිහත්වීමක් හා ව්‍යාපාරික දියුණුව මත එම ධනවත් පවුල ගම හැර දා අගනුවර නිවසක් මිලදී ගෙන පදිංචියට ගිය අතර යම් කාලයකට ගම්මුන්ට ඔවුන් අමතක වී ගියහ.කාලයාගේ අවෑමෙන් ධනවත් ව්‍යාපාරිකයා දේශපාලනයට පිවිස රටේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඔහුගේ දැඩි සංස්කෘතික පවුලේ කිසිදු ශේෂ වූ ලක්ෂණයක්වත් ඔවුන්ගේ නිවසේ සිටි මෙහෙකාරියගෙන් පවා දැකිය නොහැකි විය.ගම්මුන් එවිට ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට දොස් නැගූ අතර එම සංස්කෘතික වෙනස ඔවුනට දරා ගත නොහැකි විය.එක් දිනක් ව්‍යාපාරිකයා ගමට පැමිණි මොහොතක මදු සාදයකට සහබාගී වී සිටි අතර මතින් මත් වූ ඔහු පැව්සුවේ තම දියනියන් ගමට පැමිනි විට දියනියන්ගේ විලාසිතාවන්ට ගම්මුන් ගැරහූ බවත් ඔවුන් නිරුවතින් මහ මග ගියත් ගමේ මෝඩ බයියන්ට එය අදාල නැති බවත් ය.එකල දැඩි සංස්කෘතික මිනිසා කාලය ස්ථානය හා තම උවමනා මත සංස්කෘතිය තමාට අදාල ලෙස වෙනස් කර සැප සේ අදත් ජීවත් වන අතර දැඩි සංස්කෘතික මිනිසා ඔහුට සාප කරමින් තවමත් දිනක වැටුපට දිනපතා වෙහෙසෙනු දැකිය හැකිය.

ජනමාධ්‍ය හරහාද අද සියලු කලා නිර්මාණ,ප්‍රවෘත්ති,වැඩසටහන් ආදිය නිර්මාණය කරණුයේ ඉහත සදහන් බහුතර සංස්කෘතික මිනිසා උදෙසාය අද වන විට ජනමාධ්‍ය හරහා ඇත්ත ඇති සැටියෙන් නිරූපණය වීම දැකීමට ඇත්තේ ඉතා අල්පවය.ආගමික හා මෙරට බහුතර ජනතාවක් සමරන සියලු උත්සව හා වැඩසටහන් සංස්කෘතික මානයක් හා සංස්කෘතික නිරූපණයක් ඔස්සේ ගෙන ඒමට සියලු රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යත් ඊට නොදෙවෙනි ලෙස මුද්‍රිත මාධ්‍යත් මේ වන විට හැඩ ගැසී අවසන්ය.රෙද්ද හැට්ටය ළමා සාරිය හා ජාතික ඇදුම ද මැටියෙන් තැනූ නිවාසයද අල බතල හා රතු හාල් බතද කොලඹ සමාජයේ ජීවත් වූ අලංකාර නිවේදිකාව හා නිවේදකයා හරහා අපූරු ලෙස ජනප්‍රිය කරන අතර ඒවා ලාන්කේය සංස්කෘතියේ අංගලක්ෂණයන් ලෙස ඉතා අලංකාර ලෙස හුවා දැක්වීම ජනමාධ්‍ය හරහා මේ වන විට කරමින් පවත්නා දේ වී හමාරය.


දේශපාලකයින් හා බලවතුන් ඔවුනට අවැසි ලෙස සංස්කෘතිය වෙනසට භාජනය කරන අතර නූගත් හා නිර්ධන පාන්තිකයා ඒ කෙරෙහි දැඩි භක්තියෙන් සාගින්නේ පෙලෙනු ඇත.
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පහල පාන්තික ජනයා තුල ඇති ගතානුගතික හා සාම්ප්‍රධායික අදහස් වලින් මිදීමට ඔවුනට ඇති දැණුමේ අල්පභාවය හා දේශපලනික හා ජනමාධ්‍ය ශාක්ෂරතාවයේ දුර්වලභාවයයි.
සංස්කෘතික රාමූන් ගැන කතා කිරීමේ දී මෙරට සෑම සියලු ක්ෂේත්‍රයක් පිලිබදවම කතා කල යුතු අතර අප ඒවා ඉදිරි ලිපි වලින් සාකාච්චා කිරීමට බලාපොරොත්තු වෙමු.ඒ යටතේ සංස්කෘතිය ලිංගිකත්වයට,කලාවට,දේශපාලනයට,විලාසිතාවන්වලට,තාරුණ්‍යට බලපා ඇති අන්දම දීර්ඝ වශයෙන් ඉදිරි ලිපි වලින් අම්මබලම බ්ලොග් අඩවිය යටතේ බලාපොරොත්තු වන්න.


සටහන-අමිල නිශාන්ත

Post a Comment

0 Comments