ගං තුලානට කේන්ද්‍රගත වූ මෙරට අලුත් අවුරුදු සංස්කෘතිකාංග


ජන සාහිත්‍ය,ජනප්‍රවාද,ජනශ්‍රැති,ජන ගායනා,ජන කෙලි,ජන සංගීතය,ජන නැටුම්,ජන ගායනා,ජන ක්‍රීඩා මෙකී නොකී දහසකුත් දෑ උරුමයන් වූ දෑ සියල්ලෙහිම මූල බීජය වනුයේ ඇත පිටිසර ගම වන අතර කිසිවෙකුට හෝ අතපසු වීමකින්වත් නාගරික සාහිත්‍ය,නාගරික ප්‍රවාද,නාගරික ගායනා,නාගරික කෙලි,නාගරික සංගීතය වැනි මාතෘකා හෝ වචන බාවිතා කීමක් දකින්නට හෝ අසන්නට නොමැත එයට හේතුව කුමක්ද කුමක් වන්නට ඇත්ද මොහොතකට හෝ ඔබට සිතෙන්නට නැත.

මෙරට විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වීමට මත්තෙන් ගම මූලික කොට ගත් සංස්කෘතිය ඉතා ඉහළ වටිනාකමක් හෙබවූ හා වටිනාකමක් පාදාගත් අංගයක් වූ අතර විදේශ ආක්‍රමණයන් හා ආර්ථික පෙරලීන් සිදු වූ පසු එම වටිනාකම් පරයා නාගරික ජන සාමාජය වර්ධනය වූ අතර නගරයට වැඩි වටිනාකමක් හිමි වූයේ නිශ්පාදන වෙළද භාණ්ඩ අලවිකර ගැනීමට හා එයට වටිනාකමක් හිමි වූයේ නගරය තුළ වීම නිසාය.මුදලේ අගය වැඩි වීමත් භාණ්ඩයට භාණ්ඩය හුවමාරුකර ගැනීම අවම වී මුදලට භාණ්ඩය හිමි වීම මත නගරයට ඇදී ආ පිරිස වැඩි විය.විදේශිකයන් හරහා අප රටට ආසක්ත වූ වික්ටෝරියානු සම්ප්‍රදාය තුළ ගැබ් වූ අංගයන් වටිනාකම් හා ක්‍රියාවන් විදේශිකයන් හමුවේ මෙරටට ලැබූ අතර.ඒවා වැඩි වශයෙන් කේන්ද්‍රගත වූයේ නගරය තුළය.නගරයට මෙම වටිනාකම් ක්‍රමයෙන් එකතු වීමත් සමග ගම තවදුරටත් තම වටිනාකම් ලෙස ආගම,ජාතිය,සංස්කෘතිය අධිපති මතවාදයන් ලෙස තබා ගත් අතර ආගමික නයකයන් ගේ හැසිරීම් ක්‍රියාවලීන් අණ නිකුත් කිරීම් වලට ඉහළ අගයක් ලැබීම සිදු විය.

නගරය තුළ නිශ්පාදන වෙළද හා ආර්ථික ක්‍රියාවලීන් කේන්ද්‍රගත වූ අතර ගම සංස්කෘතික විය,ගම සුන්දර,නිස්කලංක,සදාචාරසම්පන්න,අව්‍යාජ,පිවිතුරු තත්ත්වයට හුවා දැක්වීය පොදු ජනයා අතර ගම නගරය අතර වෙනස ඉහත ආකාරයට දුටුවේය.ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය මත ගමට පන්සල ආලෝකයක් විය පන්සල හරහා ග්‍රාමීය ජනයා මෙහෙය වන්නට විය.නගරය වාසයට නුසුදුසු මුත් ජීවිකාව ගොඩ නගා ගැනීම සදහා එහි යන්නට විය.නමුත් නිවාඩුවට ඉස්පාසුවක් ලබන්නට ගමට සංක්‍රමණය විය.ගම උත්කර්ෂවත් වී කවි සිංදු ලියවෙන්නට විය කලා කෘති නිපදවෙන්නට විය.මෙම සෑම කලා කෘතියකමත් පොදු ජනයා තුළත් වූයේ ගම පිළිබද ඉහත සංකල්පයන් වන අතර නගරය පිළිබද ඊනියා පරිබාහිර සංකල්පයන්ය.ගමට මෙම වටිනාකම් ලැබුනේ පන්සල මූලිකකොට ගත් ආගමික මතවාදවලින් ගැමියා පාලනය කිරීමත් සමග වන අතර තවත් පසකින් නගරය ජනප්‍රිය වීමත් සමගය.

ක්‍රමයෙන් ගම අර්ධ නාගරික විය.නගරයේ සැලූන් ගමෙහි විවර විය නගරයේ බාර්,කඩ සාප්පු,වෙළද ආයතන,ගොඩනැගිලි ගමට එන්නට විය.නමුත් ගම ඉන් ගලවා ගන්නට සංස්කෘතිය පිළිබද කතා බහකට එක් උනු පොදු ග්‍රාමීය ජනයා අකමැති විය ගම පාලනය කල හස්තය වූ ආගමික මතවාදයන් වලටද නොහැකි විය හැකි වුවද එය සිදු කිරීම අවාසිසහගත විය.නගරයේ පහසුකම් වැඩිය එම පහසුකම් ගමට එන විට අගේය පහසුවෙන් වෙළදාම කර ගත හැක,අවශ්‍යතා සපයා ගත හැක.මේ ආකාරයට ගම අර්ධ නාගරික විය.ශිෂ්ට ගම අශිෂ්ට නගරය ගිල ගත්හ.නමුත් එය එතරම් ගැටලුවක් නොවීය.මන්ද ගම දුෂ්කර වූ නිසාය.

දුෂ්කර ගම තුළ ශේෂ වූයේ අප ඉහත සදහන් කල ගැමි නැටුම්,ගැමි ක්‍රීඩා,ගැමි සංස්කෘතිකාංග පමණක්‍ ය.ඒවාද ආර්ථික සාධක මත රදා පවතින දෑ විය.වැඩි වශයෙන් බහුතරයක් දෙනා නගරයට සමීප වූහ.ඉඩ කඩම් මිලට ගත්හ ව්‍යාපාර ඇරඹීය.නගරය අශිෂ්ට යැයි පාරම් බෑ බහුතරයකගේ දරුවන් නගරයේ පාසල්වලට යැවූහ.නගරය තුළ සිට ගමෙහි සුන්දරත්වයට කවියෙන් ලියන්නට සිනමාවෙන් කියන්නට නවකතාවෙන් ලියන්නට වගේම රූපවාහිණී වැඩසටහන් වලින් පෙන්නන්නට බහුතරයක් ක්‍රියා කලහ.නගරයේ ජීවත් වීම ජීවන විලාසිතාවක් කර ගත් උදවිය ගමට නිවාඩුවට කරක් ගැසීමට ඒම එම විලාසිතාවේ කොටසක් කර ගත්හ.
සිංහල දමිළ  අලුත් අවුරුද්ද පෙර කී ගම මූලික කොට ගත් සංස්කෘතිකාංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ අතර රූපවාහිණිය,ගුවන් විදුලිය,පුවත්පත වගේම අනෙකුත් ජනමාධ්‍ය හරහාද අවුරුද්ද ගමට සීමා කර එයට ආර්ථිකමය සුන්දරත්වයක් සැපයීමට සමත් විය.රූපවාහිණී වෙළද දැන්වීම් වැඩසටහන් පූර්ව ප්‍රචාරක පට මෙන්ම එදිනෙදා පොදු ජනයාට අවැසිවන්නා වූ වෙළද භාණ්ඩ වල අලවියට සැකසූ වෙළද දැන්වීම්ද ගම මූලිකකොට ගත් රූපරාමූන්,ග්‍රැපික් සටහන් හඩ පට හා දෙබස් ඛණ්ඩ වලින් යුක්ත වීම දැකිය හැකිය.ඒ මන්ද ගමෙන් නගරයට සංක්‍රමණය වූවන් ගම විකිණීමේ ශාස්ත්‍රය නිවැරදිව අවබෝද කොට ගෙන සිටින නිසාය.ගමේ නිස්කලංක බව පිවිතුරු බව,ශීලාචාර බව මාධ්‍ය හරහා උත්කර්ෂයට නංවන අතර පොදු මහජනයා ගමේ දෘෂ්‍ය අලංකාරයට වසග කර ගැනීමට ඔවුන්ට හැකි වූ අතර අද වන විට සිංහල දමිළ අවුරුද්ද අප සමරන්නේ සැබැවින්ම අපට අවැසි වන ලෙසටද නැතහොත් මෙරට ජනමාධ්‍ය ආයතන වලට අවැසි ලෙසද සිතා බැලුවහොත් සත්‍ය තේරුම් යෑමට වැඩි අපහසුවක් හෝ වැඩි කාලයක් නොයනු ඇත.

නමුත් මෙවර අලුත් අවුරුද්ද වෙනසකට භාජනය විය.නොහදුනන,නොපෙනන,භයාණක අමුත්තෙකු එක්වරම පැමිණ නව වසර විනාශ කර දැමූහ.අලුත් ඇදුම් සළුපිලි නැත,කැවුම් කොකිස් මිලදී ගැනීමට හෝ පිසීමට නැත,ගිණි කෙලි නැත,ජන ක්‍රීඩා හෝ වෙනත් සංස්කෘතිකාංග නැත.අප වෙනදා අවුරුදු සැමරුවේ ජැක්සන් ඇන්තනී,සහන් රංවල,අතනායක එම් හේරත්ලා ලා සමගය.ඔවුන්ගේ ගම මූලික වූ අතීත මතකයන් සමගය ඔවුන් රූපවාහිණී වැඩසටහන් වලට එන්නේ ගමේ සිට නොව නගරයේ සිටය.නගරයේ සිට ගමේ අතීතය උත්කර්ෂයට නංවන්නේ ඒ හා බැදුනු අවුරුදු චාරිත්‍ර හා උත්සව වලට පොදු මහජනයා අසක්ත කර ගැනීමටය.එය ජනමාධ්‍ය ආයතන හා වෙළද ආයතන වල උවමනා එපා කම් මතය.කැවුම් කොකිස් සාදා ගැමි ගෙදර සියල්ලන් එක්ව ආහාර පාන නැකතට බුදින අතර පසු බිමෙන් ජන කවි ජන ගායනා ඇසෙන අතර නිවේදකයන් හා නිවේදිකාවන් වෙනදාට සැරසී සිටින ඇදුම් වෙනුවට රෙද්ද හැට්ටය සරම බැනියමෙන් සැරසී සිටින්නේ ගමේ ආරක් ගන්නටය.වෙනදාට තිබෙන්නා වූ රූපවාහිණී පසුතල එදාට නැත කෘතීම කමත මැටි ගේ ගමේ සිට වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයාට ඇත්ත ගම පෙන්වා දීමට උත්සාහ කරන අතර සාම්ප්‍රදායික ගැමියාද ගමේ සිට එය නරඹන්නේ ගම දැක නැති ලෙසකින්‍ ය.ඒ අතර වාරයේ අලංකාර රූ සොබාවක් සහිත නිලියන් රෙද්ද හැට්ටය හැද ගමේ ලෙසට හැඩ වැඩ වී ගැමී ගේ වටා රොක්වන්නේ ගමේ තිබෙන සුන්දරත්වය තව තවත් ඉහළ නැංවීම උදෙසාය.සියල්ල මාධ්‍ය සංදර්ශනය ශාස්ත්‍ර කරුවන් ජන මාධ්‍ය ආයතන හා වෙළද ආයතන ඇති පදම් මුදල් උපයා ගන්නේ ඒ දිනවලය.අවාසනවකට හෝ වාසනාවකට (වාසනාව යනු කොරෝනා වයිරසය මෙරට ඇති වීම නොවේ) මේ වසරේ එවැන්නක් නොමැත.සියල්ල නිවසේ සිට අවුරුදු සමරන අතර නගරයේ හා ගමේ සියල්ල එක ලෙසකට අලුත් අවුරුදු සරළව හා චාම්ව සැමරීම දැකිය හැකි විය.(මංජුල පීරිස් පමණක් එක් රූපවාහිණී වැඩසටහනකට පැමිණ සුපුරුදු ලෙස තමාගේ අනාවැකි හා රටට වූ දේ හා වෙන්නට නියමිත දේ පැවසූහ)

 ඉහත ආකාරයේ නා නා විදි උපක්‍රම වලින් ඔවුන් පොදු මහජනයාට පෙන්වන්නේ කුමක්ද ප්‍රකාශ කරන්නෙ කුමක්ද ගම උත්කර්ෂයට නංවා ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ඊනියා සංස්කෘතියක් හා අලංකාරයක් මවා පාන්නේ කුමකටද එය පිටුපස ඇති ලාබ අපේක්ෂාවන් කුමක්ද සැබැවින්ම එය තේරුම් ගත යුතුය.සංස්කෘතිය ආර්ථික සාධකයක් වී හමාරය අලුත් අවුරුද්ද ඉතා ඉහළ ලාබ ඉපයීමේ මාර්ගයක් බවට පත්ව හමාරය.ජනමාධ්‍ය කරනුයේ එහි අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම පමණක්‍ ය.තව තවත් සැගවුනු පාර්ශව තිරය පිටුපස සිට මාධ්‍ය මෙහෙයවනු ඇත එය නැවත නැවතත් ක්‍රියාත්මකවනු ඇත.

අමිල නිශාන්ත..

Post a Comment

13 Comments